වසර 6කට පසුව ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන්ට 2-0ක පරාජයක්

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයක් ලෙස සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (2) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක සුපිරි ජයක් හිමිකරදෙමිනි. ඒ අනුව 2-0ක් ලෙස මේ තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය තවදුරටත් තමන් සතුව රඳවා ගත්තා.

ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය 9 වන කඩුල්ල සඳහා ලකුණු 124ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල 9 වන කඩුල්ල සඳහා බිහිවුණු හොඳම සබඳතාවය ගොඩනැංවූවා. ඔවුන් දෙදෙනා විසින් බිඳ දැමුවේ, අජන්ත මෙන්ඩිස් සහ තිලාන් සමරවීර විසින් මීට වසර වසර 11කට පෙර (2010) දී ඉන්දියාවට එරෙහිව පී සරා ඕවල් පිටියේ පැවති තරගයේ දී 9 වන කඩුල්ල සඳහා ගොඩනංවා තිබූ ලකුණු 118 සබඳතාවයයි.

දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන, කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියා. දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දු 16 තුල ශ්‍රී ලංකා 9 වන කඩුල්ල ලෙස ලකුණු 39ක් ලබාගෙන සිටි ඇඹුල්දෙණියගේ කඩුල්ල දැවී ගිය අතර ඒත් සමඟම ධනංජය සමඟ එක්ව ගොඩනැංවූ වාර්තාගත සබඳතාවය අවසන් වුනා. දකුණතින් වේගපන්දු යවන Holder විසින් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවාගැනීමට සමත් වුනා. එය වේගපන්දු යවන්නෙක් මේ ටෙස්ට් තරගය තුල කඩුල්ලක් දවාගත් පළමු අවස්ථාවයි.

කඩුලු 9ක් දැවී ලකුණු 345ක් ලබාගෙන සිටියදී, (ඇඹුල්දෙණියගේ කඩුල්ල දැවී යාමත් සමඟම) ශ්‍රී ලංකා නායක දිමුත් ශ්‍රී ලංකා දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ, කොදෙව් කණ්ඩායමට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්. ශ්‍රී ලංකාව සිටි අසීරු මට්ටමෙන් ගොඩට රැගෙන ආ ධනංජය ශ්‍රී ලංකාවේ කොඳු නාරටිය බවට පත්වෙමින් නොදැවී ලකුණු 155*ක් ලබාගත්තා. පන්දු 262ක් තුල වාර්තා වුනු ධනංජයගේ එම සුපිරි ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් අන්තර්ගත වුනා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Permaul ලකුණු 106කට කඩුලු 3ක් දවාගත් අතර දකුණතින් පිට දඟපන්දු යවන Chase ලකුණු 82කට කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 297ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබාගෙන සිටි නායක Brathwaite දැවී ගියා. අනතුරුව පිටියේ එක්වූ Bonner සහ Blackwood දෙවෙනි කඩුල්ල සඳහා ඉතාමත් හොඳ ලකුණු 50ක සබඳතාවයක් ගොඩනැංවූ අතර දිවා ආහාරයට පෙර ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී ලකුණු 36ක් ලබාගෙන ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් සිටි Blackwoodගේ කඩුල්ල දවාගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනා.

එතෙක් වේලාවක් නගර අන්තයෙන් පන්දු යවමින් සිටි ඇඹුල්දෙණිය එක්වරම ගාලු කොටුව අන්තයෙන් රැගෙන එමින් නායක දිමුත් උපක්‍රමශීලි ලෙස යම් වෙනසක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව්වන් ගොඩනංවමින් සිටි දෙවන කඩුල්ලේ සබඳතාවය බිඳ දැමීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනා.

දිමුත්ට ලෝක වාර්තාව මඟ හැරෙයි; නිස්සංකගෙන් අර්ධ ශතකයක්
ධනංජයගෙන් විශිෂ්ට ශතකයක්; ඇඹුල්දෙණියගෙන් ලොකු සවියක්
දුනිත්ගේ උත්සාහය අපතේ යවමින් ජයග්‍රහණය එංගලන්තයට
2021 LPL සටනට නායකයින් නම් කරයි
IPL වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගත් ක්‍රීඩක ලැයිස්තුව
දිවා ආහාරයට මිනිත්තු 50කට පසුව ක්‍රියාත්මක වුනු කොදෙව් ඉනිමේ 44වන පන්දුවාරය තුල රමේෂ් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුනේ, කොදෙව්වන් කබලෙන් ලිපට ඇද දමමිනි. එම පන්දුවාරය ආරම්භ වන විට 92/2ක් ලෙස සටහන් වුනු ඔවුන්ගේ ලකුණු සටහන එම පන්දුවාරය අවසානයේ දී 92/5ක් ලෙස සටහන් වුනා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත යම් පීඩනයක් ලබාදුන් Bonner මිනිත්තු 173ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 143ක් තුල ලකුණු 44ක් ලබාගත් නමුත් ඔහුගේ කඩුල්ලද ඉතාමත් ඉක්මනින් දවාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයේ 41වන පන්දුවාරයට පසුව පන්දුවේ හැඩය වෙනස් වීම නිසා පන්දුව මාරු කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.ඉන් පසුව ක්‍රියාත්මක වුනු පන්දුවාර 14කුත් පන්දුවක් තුල කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 46ක් තුල දැවී යාම කැපී පෙනුනා.

පන්දු යැවීමේ දී රමේෂ් දෙවන ඉනිම තුල ලකුණු 66කට කඩුලු 5ක් දවාගත් අතර, ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාගත්තා. රමේෂ් සිය ජාත්‍යන්තර ටෙස්ට් තරග දිවියේ ලබාගත් පළමු කඩුලු 10 අවස්ථාව ලබාගන්නා විට, ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 5වන කඩුලු 5 අවස්ථාව වාර්තා කරගත්තා. තවද මේ තරගය පුරාවටම දැවී ගිය කඩුලු 39න් කඩුලු 38කම දඟපන්දු යවන්නන් විසින් දවාගැනීම සුවිශේෂී වුනා.

ඒ අනුව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ නිසාවෙන් එහි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ 100%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් රඳවාගෙනයි. එසේම මේ ලබාගත් 2-0ක ජයග්‍රහණයත් සමඟ ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ සිට ශ්‍රී ලංකාවට කොදෙව්වන් අභිබවා එහි 7වන ස්ථාන දිනාගැනීමට හැකියාව ලැබුනේ ප්‍රසාද ලකුණු 83ක් දිනාගෙනයි.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

News Source :https://www.thepapare.com/